මුලින්ම ඔයා තමන්ට අවංක වෙන්න. ඔයාට තියෙන්නෙ ලිංගික අවශ්‍යතාවයක් නම් ඔයා ඒක තේරුම් ගන්න. ඒ වෙනුවෙන් බොරු ආදරයක් ඔලුවට දාගන්න එපා. ආදරයකට රැවටෙන්නත් එපා. ඔයාට තියෙන්නෙ ආදරය යන හැඟීමේ අවශ්‍යතාවය නම් ඔයා ඒක ගන්න උත්සාහ කරන්න ඕනි ඔයාගෙ සහකරුගෙන්. ඔයාගෙ සහකරුගෙන් ඒ දේ ගන්න බැරි නම් ඒක ඔයාගෙ ලැබීම කියල හිත හදාගන්න. මොකද පිට මිනිස්සු ඒක ව්‍යාජව හරි ඔයාට දෙන්නෙ තමන්ට අවශ්‍ය දේ ලැබෙනව නම් විතරයි. ඒ වගේ පිරිමියෙක් ඔයාට ලං වුණොත් ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාගේ හදවතේ කොණටම දැනෙන්න බොරු ආදරයක් දෙනව. ඒක බොරු රඟපෑමක් නිසා ඔයාටත් මාරම විදිහට දැනෙනව. ලස්සනට පාට කරල තියෙන ගිනි ගුලිය ඔයත් ක්ෂණිකව ගිලිනව. ඔයාට ලිංගික අවශ්‍යතාවයක් නැතත් ව්‍යාජ ආදරයට තියෙන කෑදරකම නිසා මේ වගේ පිරිමියෙක්ට ලං වුනොත් ඔයාට ඔයාගෙ ලිංගිකත්වය ඒ කෙනාට පරිත්‍යාග කරන්නම වෙනව. ව්‍යාජ ආදරයක් කියන දේ රඳා පවතින්නේම ලිංගිකත්වය කියන සාධකය මත. අකමැත්තෙන් හරි ඒක ඔයාට පිළිගන්නම වෙනව. ඔයා පිට කෙනෙක්ගෙන් ආදරය හොයපු කාන්තාවක් නම් ඔයාට අත්දැකීම් ඇති. ඔයාල දෙන්න ලිංගිකත්වය විඳින්න කලින් මාරම බැඳීමක් තිබුණ නේද ? පළවෙනි පාරට ඒ පිරිමියාගෙන් ඔයා ඒ දේ විඳල ගෙදර ආව මොහොතේ ඉඳන් කලින් තිබුණ ආදරය , කෙයාරින් ටිකක් හරි අඩු වුණා කියල ඔයාට කවදාහරි දැනිල තියෙනවද ? තව ටික කාලයක් ගියාම ඒ කෙනාට ඔයාව පාවිච්චි කරන උපකරණයක් විතරයි. ඔයා දිගටම එයාගෙන් ආදරය හොයන්න යද්දි එයාට ඔයාව වාතයක් , ඇනයක් වෙනව. ඊට පස්සෙ තමයි කුණු හරප කියාගන. රණ්ඩු වෙවී මරාගෙන ඉන්න උත්සාහ කරන්නේ. ඒකත් බැරිම තැන ඔයා අත ඇරල දානව. සමහරවිට ටික කාලයකට පස්සෙ ආයෙමත් ඔයාව පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් ඒ කෙනාට ඇති වුණොත් බොරු කෝටියක් කියල අලුත්ම ලෝකයක් මවල ආයෙත් ඔයාව රවට්ට ගන්නව. අඬ අඬා ඉන්න පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් දෙනව වගේ ඔයත් හිතා මතාම ආයෙත් රැවටෙනව. තමන් දන්නෙම නැතුව මුළු ජීවිත කාලෙම හොර ගෑනියෙක් වෙලා ජීවත් වෙන්න ඔයාට සිදු වෙනව. මොකද ව්‍යාජ ආදරය කියන හැඟීමට ඔයා ඒ තරම් කෑදරයි. ඔයා මේ Concept එක තේරුම් ගත්තොත් ඔයාට මේකෙන් එලියට එන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගෙ දුර්වලතාවය පිළිගන්නෙ නැත්නම් ඔයාට මේකෙන් කවදාවත් එලියට එන්න බැහැ. ඛේදනීයම කාරණය නම් සමහරු පාවිච්චි වෙලා කියල දන්නෙවත් නැහැ. මේ මොහොතෙත් තමන් පාවිච්චි වෙනව කියල පිළිගන්න කැමතිත් නැහැ.
මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවට ලිංගිකත්වය අවශ්‍ය වුවත් ආදරය යන සාධකය සහ බැඳීම නොමැතිව ඒ දේ ඉෂ්ට කර ගැනීමට ආත්ම ශක්තියක් නොමැති වීම. එවැනි දෙයක් කිරීම ඇයට වරදකාරී හැඟීමක් වෙනව. ව්‍යාජ ආදරයක පැටලෙන්නේද ඒ නිසාවෙනි. ඒ හේතුව නිසා ඇය ශාරීරිකව සහ මානසික වශයෙන් ද පීඩා විඳිනව. පිරිමින්ට අවශ්‍ය තෘප්තිය ලිංගිකත්වය තුළින් පමණක් ලබාගත හැකි අතර කාන්තාවන්ට අවශ්‍ය තෘප්තිය ලැබෙන්නේ ලිංගිකත්වය සහ බැඳීම යන කාරණා දෙක මතය. විවාහක කෙනෙක් නම් තමන්ගේ දරුවන්ට ඥාතීන්ට පවා එම තත්වය නිසා බලපෑමක් ඇතිවීමට ඉඩකඩ ඇත. ඔයා කාන්තාවක් නම් ඕනෑවට වඩා ලද බොළඳ සුඛෝමාල වෙන්න යන්න එපා. නොදන්න මිනිස්සු ඉස්සරහ හුරතල් වෙන්නත් එපා. ආත්ම ගරුත්වයක් තියාගෙන ජීවත් වෙන්න බලන්න. තමාට තිබෙන අවශ්‍යතාවය පමණක් තේරුම් ගන්න උත්සාහ කරන්න. කිසිදා නොලැබෙන දේ පිළිබඳව දැඩි සිහින නොදකින්න. ඔබට තිබෙන අවමය පිළිබඳව සතුටු වන්න. උදේට කෑවොත් දවල්ට කන්නේ කොහොමද කියල හිතන මිනිසුන් පිරිසක් ලංකාව තුළ සිටින බව අමතක නොකරන්න. භෞතික සම්පත් සහ හැඟීම් වලින් ඔබගේ මනස තෘප්තිමත් කිරීමට උත්සාහ නොකරන්න. ඔබට තිබෙන අවමයෙන් සතුට ලැබෙන පරිදි ඔබගේ මනස කෙමෙන් කෙමෙන් පරිවර්තනය කරගන්න. ආදරය පිරී ඉතිරී ගියත්...ලිංගිකත්වය පිරී ඉතිරී ගියත්... ඔබගේ හැඟීම් සම්පූර්ණ වශයෙන් තෘප්තිමත් නොවන බව පමණක් මතක තබා ගන්න.
